×
ඉස්ලාමයේ ෂරීආව අනුමත කළ හා තහනම් කළ මුදල් වෙලඳ ගනු දෙනු පිළිබඳ විස්තර

    ඔබේ මුල්‍යමය ගනුදෙනු

    මුස්ලිම්වරුන්ට අවංකව සහ සාධාරණව තම ජීවනෝපය සොයා ගන්නා ලෙස අල්ලාහ් අණ කර, එයට රුකුල් ද දෙයි. පහත සඳහන් විස්තර හා වෙනත් තොරතුරු මේ බව සනාථ කරයි.

    · අපහට උපයන්ට හැකිව තිබිය දී සිඟමනේ යෙදීම නබි (සල්) තුමාණෝ අපට තහනම් කර ඇත. තවද යම් වෘත්තියක නිරත විය හැකි කෙනෙක් සිඟමනේ යෙදීමෙන් අල්ලාහ් අභියස පමණක් නොව, අනිත් මිනිසුන් සහ සමාජයේ අනෙකුත් සාමාජිකයන් අතර ඔහුගේ ආත්ම ගෞරවය නැති කර ගනියි. “කිසිදු හේතුවකින් තොරව දිගින් දිගට සිඟමනේ යෙදෙන කෙනෙක් (අවසාන දිනයේ) අල්ලාහ් ඉදිරියේ මුහුණේ මස් පිඬුවක් වුවද නොමැතිව සිට ගනියි“ (වාර්තාව සහීහ් අල් බුහාරි 1405, සහීහ් මුස්ලිම් 1042)

    · දිළිඳුකමට ලක් වූ කෙනෙක් ඒ බව අනිකුත් මිනිසුන් වෙතට යොමු කළ හොත් ඔහුගේ දිළිඳුකම කිසි විටක අවසන් වන්නේ නැත. ඔහු එය අල්ලාහ් වෙත යොමු කළේ නම්, අල්ලාහ් සීඝ්‍ර‍යෙන් ඔහුට පුමාණවත් තරමට ලබා දෙයි. (සුනන් අහ්මද් 3669 සහ සුනන් අබු දාවුද් 1645 හී වාර්තාවේ)

    · ඉස්ලාම් සියලු තරාතිරමට අයත් වෘත්තීන්ට ගරු කරයි. වෙළෙඳාම, කර්මාන්තය, සේවා කටයුතු, ආයෝජනය වැනි කුමන එකක් වුවත්, ඒවා නීත්‍යනුකුල හා කිසිදු ආකාරයකින් වුවද වැරදි ක්‍රියා මාර්ගයකට සම්බන්ධ නොවන එකක් විය යුතයි. නබි වරුන් පවා තම සමාජයේ එවකට තිබුණු ගෞරවනීය වෘත්තියක යෙදුණු බව ඉස්ලාම් පවසයි. “බැටලුවන් බලා නොගත් නබි වරයෙක් අල්ලාහ් කිසිවිටෙක එව්වේ නැත.“ යැයි නබි (සල්) තුමාණෝ පැවසුහ. (සහීහ් බුහාරි 2143) “සකරිය්යා (අලෛ) වඩු කර්මාන්තයේ යෙදුනු කෙනෙකි.“ යැයි නබි (සල්) තුමාණෝ පැවසුහ. (සහීහ් මුස්ලිම් 2379).

    · තමාට, තම පවුලේ අයට සහ දුප්පත් අයට සහාය වන අරමුණින් කිසියම් වෘත්තියක නිරත වන මුස්ලිම්වරයෙක් ඔහුගේ පරිශ්‍රමය සඳහා අධික ලෙස ත්‍යාග දෙනු ලබයි.

    පොදුවේ සෑම වර්ගයන්හී ගනුදෙනු ඉස්ලාමයේ අනුමත කරන ලදී

    නීතියක් වශයෙන් සෑම වර්ගය ට අයත් ගනු දෙනුවකටම ඉස්ලාමයේ පොදු අනමැතිය තිබේ. මිල දී ගැනීම, විකිණීම, කුලියට හෝ බද්දට දීම සහ මිනිසුන්ගේ එදිනෙදා ජීවිතයට අවශ්‍ය වන අනිකුත් වර්ගයේ ගනු දෙනු මෙහි ඇතුලත් වේ. සෑම වර්ගයට අයත් රැකියාවන් හා ශ්‍රමයන් හි නිරතවීමට අනුමත ඇති අතර, එහි ස්වභාවය අනුව හෝ එය ඉටු කරන ක්‍රමය හෝ ලබා ගන්නා ක්‍රමය අනුව තහනම් කරන ලද ක්‍රියාවන් මෙහි ඇතුලත් නොවේ.

    පොලි පිළිබඳව ඉස්ලාමය නිගමනය

    අල් කුර්ආනයේ සහ නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ් පිළිබඳ ලිඛිත සාක්ෂීන් පෙන්වන ආකාරයට, රිබා නම් පොලිය ඉස්ලාමයේ සම්පූර්ණයෙන්ම තහනම් කරන ලදී. එය මහා පාපයන් කිහිපයන්ගෙන් එකක් වන අතර, අල්ලාහ් පොලි ගනු දෙනුවෙහි නිරත වන කෙනෙක් හැර අන් කිසිදු පාප කරුවෙකුට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර නැත. කෙසේ වෙතත්, මෙම දැඩි නිගමනය පැරණි ආගමික වගන්ති විකෘති කිරීම් හා වෙනස්වීම් වලට ලක්වීමේ හේතුවෙන් නොයෙකුත් අයුරින් වැරදි පැහදීමට ලක්වී ඇත. මෙම පාපය සඳහා ග්‍රන්ථ හිමි ජනතා (ක්‍රිස්තු හා යුදෙව්) පිරිසකට ඉතා බරපතල දඬුවම් පැන වූ බව අල්ලාහ් දන්වන්නේ මෙසේය. “එයින් ඔවුන් තහනම් කරනු ලැබු පොලිය ගත් හෙයින්ද, මිනිසුන්ගේ දේපොළ අයුතු ලෙස අනුභව කළ හෙයින්ද, ඔවුන්ගෙන් විශ්වාස නොකරන අයට වේදනීය දඬුවම් අපි සම්පාදනය කෙළෙමු.“ (අල් කුර්ආන් 4: 161)

    රිබා නම් පොලිය සඳහා දඬුවම්

    1. රිබා සම්බන්ධ වූ ගනු දෙනුවන් හි යෙදෙන ජනතාව අල්ලාහ් සහ ඔහුගේ රසූල් (සල්) තුමාණන් විසින් යුද්ධ ප්‍රකාශ කරනු ලැබු පිරිස බවට පත් වන අතර, අල්ලාහ් සහ රසූල් (සල්) තුමාණන්ගේ සතුරන් බවටද පත්වෙති. මෙය පිළිබඳව අල් කුර්ආනය පවසන්නේ මෙසේය. “ඔබ එලෙස නොකරන්නේ නම් අල්ලාහු සමඟද ඔහුගේ රසූල්වරයා සමඟද සංග්‍රාමයකට සූදානම් වවු. ඔබ පොලි ගැනීම අත් හරින්නෙහු නම් ඔබගේ මුල් මුදල ඔබටය. ඔබ අපරාධ නොකළහුය. ඔබත් අපරාධ නොකරනු ලැබුවෙහිය.“ 2-279. සැබැවින්ම, මෙවැනි සංග්‍රාමය හේතු කොට ගෙන බරපතළ කායික හා මානසික හානි සිදු වන අතර ඒවායේ ප්‍රතිඵල වශයෙන් හට ගන්නා අසහනය හා සිත් කනස්සල්ල දීර්ඝ කාලීන එකකි. මෙම ව්‍යසනයට වර්තමාන යුගයේ විශාල ජනතාවක් ගොදුරු වී සිටිති. අල්ලාහ්ගේ අණ කඩ කරමින් රිබා නම් පොලිය හා සම්බන්ධ ගනු දෙනු හි නිරත වන ජනයාට එරෙහිව අල්ලාහ් පවත් වන යුද්ධය මෙය වේ. මරණයෙන් පසු සිදු වන මෙවැනි සංග්‍රාමයේ ප්‍රතිඵල ඉතාමත් භයානක වන හේතුවෙන් ඒ ගැන කල්පනා කිරීම පවා අපහසුය.

    2. ඔනෑම අයුරකින් සකස් කළ රිබා නම් පොලිය සම්බන්ධ ගනු දෙනුවෙහි නිරතවන ජනතාව අල්ලාහ්ගේ කරුණාව අහිමි කරගන්නා බව ජාබිර් ඉබ්න් අබ්දුල්ලාහ් (රලි) මෙසේ වාර්තා කරයි. අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් පොලි ගනු දෙනුවෙහි සම්බන්ධ වන සෑම පුද්ගලයින්ටම එය (පොලිය) ලබා ගන්නා, එය ගෙවන්නා, එය ලේඛන ගත කරන්නා, එයට සාක්ෂි දරන දෙදෙනා යන අයට ශාප කළහ. ඔවුන් සියලු දෙනාම පාපතරයින් බව එතුමාණන් පැවසුහ. මූලාශ්‍ර සහීහ් මුස්ලිම් 1596.

    3. විනිශ්චය කරන දිනයේ ඔවුන් සියලු දෙනාම, උමතු වුවන් සේ, ගැහෙමින් හා වෙවුලමින්, සිත් වියරු වු කෙනෙක් මෙන් පැමිණෙන බව අල් කුර්ආන් පවසයි. “ඔහුට යක්ෂ ආවේශ වී වියරුණු ගතියෙන් නැගින්නාක් මෙන් මිස පොලි කන අය (අන්තිම දිනයේ ඔවුන්ගේ සොහොන් වලින්) නොනැගිටිති.“ සූරා 2: 275.

    4. අධික පොලිය මගින් කෙතරම් ලාභයක් ලැබුවද, ඒවා කෙතරම් විශාලව තිබුනද, ඒවායේ සියලු ආශීර්වාදයන් ඉවත් වනු ලබන අතර, එවැනි ලාභ ලබන්නන්, එවා මගින් කිසිදු සතුටක් හෝ සිත් සහනයක් නොදකින්නෝය. “අල්ලාහ් පොලිය මකන්නේය. පොලිය මගින් ලැබෙන ආදායමේ සියලු ආශීර්වාදය අල්ලාහ් ඉවත් කරන්නේය. සියලු සදකාව ආශීර්වාද කර ඒවා නොයෙක් ප්‍රමාණයෙන් දියුණු කරන්නේය.“ අල් කුර්ආන් 2:276.

    පුද්ගලයෙකුට සහ සමාජයට පොලිය නිසා සිදුවන අනර්ථදායි ප්‍රතිඵල

    පොලිය නිසා පුද්ගලයාට හා සමාජයට සිදු විය හැකි අනර්ථදායි ප්‍රතිඵල නිසා ඉස්ලාම් පොලිය තහනම් කර ඇත. එවැනි අනර්ථදායි ප්‍රතිඵල සමහරක් මෙහි සඳහන් කෙරේ.

    1. එමගින් ධනය බෙදාහැරීමේ දී, නිසි පිළිවෙළක් නොමැති වීමට බලවත් හේතුවක් වීමෙන්, ධනවත් සහ දුප්පතුන් අතර තිබෙන පරතරය විශාල කරයි.

    ඇතැම් සීමිත පුද්ගලයන් අතර ධනය සීමා කිරීම පොලිය මගින් සිදු වේ. සමාජයේ හා ජනතාවගේ යහපත සඳහා ධනය උපයෝගි කිරීම වලක්වන හෙයින්, ධනය සමාජය තුළ සාධාරණව බෙදී යෑමට බාධා සිදුවීමෙන් අධි ධනපති යන සුළුතරයක් සහ අධික දුප්පත් ජනතාව ලෙස හෝ සියලු දෑ අහිමි වුවන් යන බහුතරයක් යන දෙපිරිසකට සමාජය බෙදී වෙන්වෙයි. මෙවැනි වාතාවරණය තුළින් වෛරය හා අපරාධය වැනි සමාජ විරෝධී සිතුවිලි හට ගැනීම පොදුවේ සිදු වේ.

    2. ධනය හා සම්පත් අපතේ වියදම් කිරීමට අනුබල දෙයි.

    පොලි අය කර ණයට මුදල් ගෙවන මූල්‍ය ආයතන මැතකදී විශාල ප්‍රමාණයක් සමාජයේ පවතින අතර, ඔවුන්ගෙන් ණයට මුදල් ලබා ගැනීමද පහසුවී තිබෙන හෙයින් එවැනි ණය මුදල් ගෙන ඒවා අපතේ වියදම් කිරීමට ජනතාව බහුලව පුරුදු වී සිටිති. විවිධ අවශ්‍යතාවන් සඳහා ණයට මුදල් ගෙවන ආයතන බොහෝමයක් තිබීම නිසා, ජනතාව තමාට අත්‍යවශ්‍ය නොමැති සුඛෝපභෝගි භාණ්ඩ පවා ණයට ගෙන, අවසානයේ ණය ආපසු ගෙවා ගන්නට නොහැකි තත්ත්වයට පත් වෙති. මෙවැනි අවස්ථා නිසා ඔවුන් මානසික පීඩනයට, අසහනයට හා සිත් තැවිල්ලට ලක් වෙති.

    3. සමාජයට ඵලදායි ව්‍යපාරයක් සඳහා මුදල් ආයෝජන කිරීමට බාධාවක් සිදුවනු ඇත.

    තම මූල ධනය සඳහා ලැබෙන පොලි ක්‍රමය තුළින් අධික ලාභයක් උපයන්නට හැකි වන ආයෝජකයින්, සමාජයට යහපතක් ගෙන දෙන ඵලදායි ආයෝජනයට මුදල් යෙදවීම පසුබට වනු ඇත. දේශීය, කර්මාන්ත, කෘෂි කාර්මික, වාණිජ වැනි කුමන ව්‍යාපෘතියක් වුවද, ඒවායින් සමාජයට කෙතරම් ඵලදායි වුවද, ඒවාහි ආයෝජනට කිරීමට කිසිවෙක් ඉදිරිපත් නොවෙති. එයට හේතුව මෙම ව්‍යාපෘති ආරම්භ කිරීම ඉතාමත් අවදානම් සහිත බව හා අධික වෙහෙසීමට ලක් විය යුතු බව මෙම ධනවත් පුද්ගලයින් සිතීමය.

    4. ධනයට සියලු ආශීර්වාද අහිමි වී ආර්ථික අර්බූදයට මග සලස්වයි

    මූල්‍ය ආයතන සහ පුද්ගලයින් ආර්ථික අර්බූදයට භාජන වීමට හේතුව ඔවුන් පොලිය පදනම් කර ගත් ගනු දෙනු හි නොකඩවා නිරත වී සිටීමෙන් එවැනි ගනු දෙනුවලට අල්ලාහ්ගේ ආශීර්වාදය අහිමි වනු ඇත. එහෙත් පුන්‍යාධාර ක්‍රියාවන් ධනයට ආශීර්වාද ගෙන දෙන අතර, එමගින් ධනය වර්ධනය වීමද සිදු වේ. “පොලිය මගින් ලැබෙන ආදායමේ සියලු ආශීර්වාදය අල්ලාහ් ඉවත් කරන්නේය. සියලු සදකාව (පිනට දීම) ආශීර්වාද කර ඒවා නොයෙක් ප්‍රමාණයෙන් දියුණු කරන්නේය.“ අල් කුර්ආන් 2:276.

    ස්වාභාවික අපිරිසිදුකම නිසා තහනම් කළ ගනු දෙනු

    මේවායේ ස්වාභාවිකව තිබෙන අපිරිසිදුකම හේතු කොට ගෙන ඒවා විකිණීම, මිල දී ගැනීම, බද්දට හෝ කුලියට ගැනීම, නිෂ්පාදනය කිරීම හෝ බෙදා හැරීම වැනි ක්‍රියා සියල්ල අල්ලාහ් තහනම් කර ඇත.

    • ඒවා නම්, බල්ලාන් සහ ඌරන්ගේ මාංශ,
    • මරණයට ලක් වූ සතුන් හෝ ඔවුන්ගේ සිරුරේ කොටස්,
    • මත් පැන්,
    • මත් ද්‍රව්‍ය සහ සෞඛ්‍යට අහිතකර ඕනම දෙයක්,
    • දුරාචාරය පතුරු වන අසභ්‍ය වීඩියෝ තැටි, සඟරා සහ වෙබ් අඩවි,
    • නැමදුම් කිරීමට භාවිත කරන පිළිම හෝ ප්‍රතිමාව වැනි දේ.

    අත්පත් කර ගත් ක්‍රමයෙන් මේවා තහනම් බවට පත්වේ.

    සාමාන්‍යයෙන් මේවා අනුමත කරනු ලැබු වුවත්, සමාජයට හෝ පුද්ගලයාට එවා ලබා ගත් ක්‍රමයෙන් හානියක් සිදු වන හේතු කොට ගෙන, තහනම් බවට පත් වේ. එහි ඇතැම් නිදසුන් දෙස බලමු.

    පොලි පදනම් කර ගත් මුදල් ගනු දෙනු, මුලාව, අසාධාරණය හෝ සූදු වැනි මාර්ගයෙන් උපයා ගත් මුදල්.

    ණය ගනු දෙනුවකදී අය කරන රිබා නම් පොලිය

    · ණයට මුදලක් ලබා දී, එය ආපසු ගෙවන විට අමතර මුදලක් අය කිරීම මගින් ලාභයක් ඉපයීම. මෙවැනි ගනු දෙනුවෙන් කෙනෙකුට අසාධාරණයක් හා හානියක් සිදු වන හෙයින් මෙය ඉස්ලාම් හි තහනම් බව සලකන්න.

    රිබා නම් පොලිය විවිධ වර්ගයට අයත් වේ. ඒවා අතර ණය හා සම්බන්ධ වන පොලිය ඉතාමත් බරපතළ එකකි.

    මෙවැනි පොලිය සෑම ගනු දෙනුවකදීම සිදු වනු ඇත. උදාහරණයක් වශයෙන් මාසයක් ඇතුළත ආපසු ගෙවීමේ කොන්දේසිය මත උමර් ගෙන් අලි $1,000 ක් ණයට ගනී. එහෙත් මාසයක් තුළ එය ආපසු ගෙවා ගන්නට නොහැකි වූ විට, නියමිත දිනයේ ණය ගෙවිය යුතු බවද, එසේ කළ නොහැකි නම් ලබන මස $100ක් එකතුකර දෙන ලෙස උමර් කොන්දේසි පනවයි. එවිටත් ණය ගෙවා අවසන් කළ නොහැකි නම්, තවත් මාසයක් කල් දෙන බවද, ඒ සඳහා තවත් $100ක් අමතරව ගෙවිය යුතු බවද උමර් පවසයි.

    ණය මත පොලිය

    කෙනෙක් පුද්ගලයෙකුගෙන් හෝ බැංකුවෙන් ණයක් ගන්නා විට, වාර්ෂික පොලිය 5% හෝ වෙනත් ප්‍රමාණයක් ගෙවීමට එකඟ වී, ඒ පදනම මත කරන ගනු දෙනුව.

    වෙළඳම් ගනු දෙනුවෙහි සිදු වන ඇතැම් අසාධාරණ ක්‍රම

    1. බලපෑම් කිරීම:- බලපෑමක් යටතේ යම් ගනු දෙනුවක් සිදු කෙරුණේ නම්, එම ගිවිසුම අවලංගු බවට පත් වෙයි. සැබැවින්ම, වෙළඳ ගනු දෙනුවකට දෙපාර්ශවයම පොදු එකඟත්වයෙන් සිදු කරන ගිවිසුමක් අවශ්‍ය වන බව නබි (සල්) තුමාණෝ දිනක් පැවසීය. “වෙළඳාමක්, වෙළඳාමක් ලෙස සැලකෙන්නේ එය අන්‍යෝන්‍ය සම්මුතියෙන් සිදුවුණේ නම් පමණි.“ (සුනන් ඉබ්න් මාජා 2185.)

    2. වංකභාවය:- අන් අයගේ දේපොළ වංක ආකාරයෙන් පවරා ගනු පිණිස ඔවුන්ව මුළා කිරීම ඉස්ලාමයේ විශාල පාපයක් බව සැලකේ. “කවරෙකු හෝ අපට වංචා කරන්නේ නම්, ඔහු අපට අයත් කෙනෙක් නොවන්නේය.“ යනුවෙන් නබි (සල්) තුමාණෝ පැවසීය. දිනක් වෙළඳ පොළේ ඇවිද ගිය නබි (සල්) තුමාණෝ විකිණීමට තිබු වියළි ආහාර ගොඩේ අත ඔබා, ඒවායේ තෙතමනය තිබෙණු දැක, “මෙය මොනවාද?“ යැයි එම වෙළෙඳා්‍ ගෙන් විමසුහ.

    එයට ඔහු, “මේවා වැස්සට තෙමී තෙත් වුණි, අල්ලාහ්ගේ රසූල් (සල්) තුමණි!“ යයි පිළිතුරු දුන්නේය.

    “එසේ නම් මිනිසුන්ට පෙනෙන අයුරින් තෙත් වූ ආහාරය ගොඩට උඩින් නොතබන්නේ ඇයි?“ යනුවෙන් පැවසු නබි (සල්) තුමාණෝ, “කවරෙකු හෝ අපට වංචා කරන්නේ නම්, ඔහු අපට අයත් කෙනෙක් නොවන්නේය.“ යනුවෙන් පවසා තම අසතුට ප්‍රකාශ කළේය. (සුනන් අත් තිර්මිදි 1315)

    3. නීතිය තමන්ගේ වාසියට පරිවර්තනය කිරීම: ඇතැම් වංචනික පුද්ගලයන්, ඉතාමත් අලංකාර ලෙස සිත් දිනා ගන්නා ආකාරයෙන් උසාවියේ කථා කර, අන් අයගේ අයිතිවාසිකම් තමන්ගේ වාසියට පවරා ගන්නට වැයම් කරති. මෙයද ඉස්ලාම් තහනම් කරයි.

    මෙවැනි විවිධ හේතුන් මත, ඉස්ලාම් අනුමත නොකළ ගනු දෙනුවෙන් වැළකී සිට අප ඊමානය හා අල්ලාහ් දුන් සෞභාග්‍ය ආරක්ෂා කර ගැනීමට අපි වග බලා ගත යුතුවෙමු.